Microfinance ණය අර්බුදය

By Chamikara Sapuge 

පසුගිය දිනවල උතුරේ සහ දකුණේ දේශපාලකයක් අතරේ කතා බහට ලක්වුණු කාරණයක් නම් මේ micro finance ණය අර්බුදය.ඔවුන් විසින් අයකරන අධික පොලී අනුපාත සම්බන්ධව.උතුරු පලාත් සභා මහඇමතිතුමා සදහන් කරසිටියේ මිනුසුන් සියදිවි නසාගන්නා තරමට මෙම ණය අර්බුදය දුර දිග ගොස් ඇති බවයි.අවසානයේදී මෙය රජයේ මැදිහත්වීමක් දක්වා දුරදිග ගියා. සති කිහිපයකට පෙර මුදල් ඇමතිවරයා විසින් රුපියල් 100,000 අඩු කාන්තාවන් විසින් ලබාගත් මෙම ණය කපාහැරීමට කැබිනට් තීරණයක් ගත් බවත් පැවසුවා.


මොනවද මේ Microfinance සමාගම් 

Microfinance සංකල්පය 80 දශකයේ බංගලාදේශ ආර්ථික විද්‍යාඥයකු වන මොහොමඩ් යූනුස් විසින් ආරම්භ කර පසු කාලීනව ලොව පුරා විහිදී ගිය සංකල්පයක්. ණය වාරිකය මසකට වතාවක් නොගෙවා දිනපතා හෝ සතිපතා ගෙවීම මේ යටතේ සිදුවනවා.මෙම ණය අගයෙන් කුඩා අගයන්.මෙම Microfinance සමාගම් විසින් බොහෝ විට ණය ලබාදෙන්නේ බැංකු මගින් සහ අනෙකුත් මූල්‍ය සමාගම් විසින් ණය ලබානොදෙන, ලබා ගත නොහැකි පුද්ගලයින් සදහා.

ශ්‍රී ලංකාවේ Microfinance ව්‍යාප්තිය.

ශ්‍රී ලංකාවේ මෙම microfinance සංකල්පයේ ආරම්භය ලෙස රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා විසින් ක්‍රියාත්මක කල ජනසවිය ව්‍යාපෘතිය නම් කරන්න පුලුවන්.පසුකාලීනව සෙලින්කෝ සමාගම විසින් මෙම micro finance සංකල්පය වැඩිදියුණු කර ව්‍යාපාරයක් වශයෙන් පවත්ගෙන යාම ආරම්භ කරනවා.අදවන විට අපේ රටේ මෙම microfinance ණය ලබාදෙන සමාගම් දහසකට අධික ප්‍රමාණයක් පවතින බව පවසනවා.

විශේෂයෙන්ම සදහන් කලයුතු කාරණය මෙම microfinance ණය ගැනුම්කරුවන් අති බහුතරයකට බැංකුවකින් හෝ මූල්‍ය සමාගමකින් ණය ලබාගැනීම දුශ්කර ක්‍රියාවක් බව.සාමාන්‍යයෙන් මෙම ණයක ප්‍රමාණය රුපියල් 25,000 සිට 200,000 ප්‍රමාණය දක්වා ලබාදෙනවා.ව්‍යාපාර වල නියුතු සමාගම් පවසන ආකාරයට මෙම microfinance ණය ලාබීන් ගේ ආපසු ණය ගෙවීමත් ඉතා හොදයි.

අපේ රටේ දැනට පවතින Microfinance සමාගම් කොටස් දෙකකට වෙන්කල හැකියි.

1 මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම් විසින් සිදුකරන Microfinance .

අපේ රටේ ලියාපදිංචි මූල්‍ය සමාගම් 43 අතරින් සමාගම් 15-20 පමණ මෙම මෙම microfinance ව්‍යාපාරයේ නියුතුව සිටිනවා.අධික පොලී අයකිරිම සම්බන්ධව මෙම සමාගම් වලට නම් විශාල චෝදනාවක් නැහැ.

2 මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ,ප්‍රාදේශීය වශයෙන් සිදුකරන Microfinance.

මෙම අධික පොලී අනුපාත අය කිරීම පිලිබඳ ප්‍රශ්නය පැනනැගී ඇත්තේ මහ බැංකුවේ ලියාපදිංචි නොවූ දිවයිනේ විවිධ ප්‍රදේශයන් තුල සිදුකරන මේ ආකාරයේ microfinance ව්‍යාපාර සදහායි.කිසිදු නියාමනයකට යටත් නොවන නිසා මෙම සමාගම් ඔවුන්ට රිසි පොලී අනුපාත අයකිරීම් සිදුකරනවා .


2016 සම්මතවූ Microfinance පනත

දැනට ශ්‍රී ලංකාවේ microfinance පමණක් කලහැකි මූල්‍ය බලපත්‍ර නිකුත් කර නැහැ.2016 වර්ශයේදී micro finance පනත පාර්ලිමේන්තුවේ සම්මත වනවා. මෙම microfinance සමාගම් මහ බැංකු නියාමනය යටතට ගෙන ඒමට සහ ඔවුන්ට බලපත්‍ර නිකුත් කිරීමට ඒ මගින් කටයුතු යොදාතිබුනා.සමාගමක් ඇරබීමේ මූලික ප්‍රාග්ධනය රුපියල් මිලියන 100 ක් ලෙස සදහන් වුනා.මහ බැංකුව විසින් මෙම microfinance ලියාපදිංචිය සදහා අයදුම්පත් කැදවීමක්ද සිදුකරනවා.නමුත් ඊට පසුව ඒ සම්බන්ධව සිදුවූ යමක්නම් නැහැ.පසුගිය සතියේ මුදල් ඇමතිවරයා පැවසුවේ එම microfinance පනතට සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වන බව.එම microfinance ණය සදහා අයකල හැකි උපරිම පොලී අනුපාත යම් නියාමනයකට ලක්කිරීමට බලාපොරොත්තු වන බව.


මොකක්ද මේ ණය අර්බුදය 

බොහෝ දෙනා පවසන්නේ මෙම microfinance සමාගම් විසින් අධික පොලියක් අයකරන බව.සමහර අවස්තාවල එය 200% අධික බවත් සදහන් වුනා. මෙම 200% පොලී අනුපාත ගැන නිශ්චිතවම පැවසිය නොහැකි උවත් ,සතිපතා හෝ දිනපතා ගෙවන micro ණයක වාර්ෂික පොලී අනුපාත 50% ඉක්මවන ලෙස ණය ලබාදෙන ආයතන බස්නාහිර පලාත තුලත් සොයාගන්න පුලුවන්. සාමාන්‍ය නිවාස ණයක පොලී අනුපාත 15% වනවිට සහ ලීසිං නයක් ලබාගන්නා විට 20% පමණ පොලී අනුපාත micro ණයක් සදහා 50% පොලියක් දක්වා ඉහළ ගියවිට සිදුවන දෙය ගැන ඔබට සිතාගන්නට පුලුවන් වෙයි.

මෙම micro ණය අර්බුදය විසදීම සදහා රජයෙන් වෙන් කර ඇති රුපියල් බිලියනය මේ සදහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.ශ්‍රී ලංකාවේ සමස්ත micro ණය සම්බන්ධ නිශ්චිතවම පැවසිය හැකි අගයක් නැතත් ආසන්න වශයෙන් එය රුපියල් බිලියන 50 කට එහා අගයක් බව ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පවසයි.සමහර ලැයිස්තුගත සමාගම් වල පමණක් බිලියන කිහිපයක් ඉක්මවූ micro ණය ඇත.එමනිසා රජයෙන් වෙන්කල බිලියනය කිසිසේත්ම සෑහෙන අගයක් නොවේ.


විසදුම් යෝජනාවලිය

Micro Finance සමාගම් මහ බැංකුව මගින් නියාමනය කිරීම 

මූල්‍ය සමාගම් බලපත්‍රයක් නොමැතිව Microfinance ණය දෙන කිසිදු සමාගමක් මහ බැංකුව මගින් නියාමනය නොවන ආයතන.එම ආයතන මහ බැංකුව යටතේ නියාමනය කර ,අවශ්‍ය කරන අවම ප්‍රාග්ධනයක් නියම කල හැකියි.එවැනි අවම ප්‍රාග්ධනයක් නියම කලවිට දිවයින පුරා විසිරී සිටින කුඩා කුඩා microfinance සමාගම් එකට එකතු කර ( merge ) වඩා ශක්තිමත් හොද කලමනාකාරීත්වයෙන් යුතු සමාගම් බිහිකල හැකියි.


ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ Micro ණය ගොනුගත කිරීම.- CRIB Reporting 

මහ බැංකුව මගින් නියාමනය නොකරන සමාගම් සදහා ණය කාර්යංශයේ සදහා පිවිසුම් අයිතිය නැත.මෙම Micro ණය,CRIB ගොනුගත කිරීම මගින් රටේ Micro ණය පිලිබඳ වඩා පැහැදිලි තොරතුරු ලබා ගැනීම, එකම ණය ලාභියා ණය කිහිපයක් ගැනීම මෙන්ම ණය පැහර ඇරීම පිලිබඳ නිවැරැදි අගයන් ලබාගැනීමටද හැකිවේ.


Micro Finance සමාගම් සදහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම 

මුදල් ඇමතිතුමා පවසන ලෙස පොලී අනුපාත 35% ලෙස සීමා කිරීම ප්‍රායෝගික නොවන කාර්යයකි.බැංකු සහ මූල්‍ය සමාගම් මෙම කුඩා ප්‍රමාණයේ microfinance සමාගම් සදහා අවශ්‍ය තරම් මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ නැත.මහ බැංකුවේ ලියාපදිංචිවී නොවී ඇති නිසා මෙම microfinance සමාගම් වලට තැන්පතු බාරගැනීමද සිදුකල නොහැක.මූල්‍ය බලපත්‍ර සහිත නමුත් වැඩි වශයෙන් micro ණය ලබාදෙන ප්‍රමාණයෙන් විශාල සමාගමකට උවත් securitization ( සමාගමෙන් ලබාදී ඇති ණය පහසුකම් ඇපයට තබා ලබාගන්නා මූල්‍ය පහසුකම් ) ලබාගැනීම අපහසුහය.එවැනි තත්ත්වයක් යටතේ මෙම microfinance සමාගම් වලට උපරිම පොලී අනුපාත නියම කිරීම මගින් සිදුවන්නේ එම කුඩා ප්‍රමාණයේ micro finance සමාගම් බංකොළොත් වීමය.

මෙම microfinance සමාගම් මහ බැංකුව යටතේ නියාමනය කර ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙන්නේ නම් රජය පවසන පරිදි එම පොලී අනුපාත 35% යටතේ තබාගත හැක.මෙම microfinance සදහා අඩු පොලියට මුදල් ලබාදෙන ජාත්‍යන්තර ආයතන ඕනෑ තරම් ඇති අතර (international donor agency) රජය මැදිහත්වීමෙන් සොයාගතහැක.


Microfinance සමාගම් සදහා අවශ්‍ය කරන දැනුම , තාක්ෂණය ලබාදීම

රජය මෙම microfinance සමාගම් මුදල් පොලියට දෙන්නන් ලෙස හැදින්වුවත් සමහර සමාගම් ඔවුන්ගෙන් ණය ලබාගන්නා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වැඩිදියුණු කිරීමට උපකාර කරයි.උදාහරණයක් ලෙස සමාගමේ ණය ගැනුම්කරුවන්ගේ විසින් නිපදවනව භාණ්ඩ මිලදී ගැනීම සදහා පහසුකම් සැලසීම දැක්විය හැක.මෙම microfinance සමාගම් වෙත සහ ඔහුන්ගෙන් ණය ලබාගන්නා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙත ඔවුන්ගේ භාණ්ඩ හා සේවා සදහා වඩා හොද මිලක්, වෙලදපොලක් සොයා ගැනීමට දැනුම ,තාක්ෂණය ලබාදීමෙන් එම ආයතන සහ ණය ගැනුම්කරුවන් සියලු දෙනාටම යහපතක් වනු ඇත.








Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy